පොතු කඩන රටකජු
'ටොක්ගාලා' කැඩෙනකොට
කුස්සියේ පිල ගාව
කලුවරත් ගැස්සුනා..
පොල්ලතු සෙවිලි අතරට
මීදුම ඇවිත් බානකොට
හාල් තැම්බිලා බත ඉදෙන සුවද
ඇවිත් පෙරෙනව ඒ හරහට
මං දන්න දා ඉදන්
අත්තම්මගෙ ආදරෙත් ඒවගේ
බැදපු කජු සුවදයි!
මුලු දවාලෙම බස් වලට
හන්දියේ කඩ,
දෙක තුනට
කජු වට්ටිය තියාන ඇවිද්දි
ලංගමේ කෙලවරේ
කෙල්ලෙක්ගෙ අත ඉඹ ඉඹ
මං උන්නෙ ආයෙමත්
ආදරේ හොය හොය
බැදපු කජු ටික
එකින් එක අහුලං
දහයෙ පැකට් ගහනකොට
උබ කීවා මතකයි තවම
ජීවිතේ හරියට කැඩෙන කජු වගේ
"සමහරක් තිත්තයි"
"සමහරක් රහයි"
අවුරුදු ගානකට පස්සෙ
පොල්ලතු සෙවිලි අතරට
මීදුම ඇවිත් බානකොට
බත ඉදෙන සුවදයි
කජු කැඩෙන සද්දෙයි
ලොකුම අඩුවක්
තව්තිසාවත් දැන්
රටකජු සුවදද අත්තම්මෙ?
Comments
Post a Comment