මිදුණු මතක 



පුරා දහතුන් වසක් එපිටදී 
දිරපු පොල්ලතු පන්තිකාමරයක 
එකම පැන්සල දෙකට කඩලා 
එක්සයිස් පොත් පිරෙව්වා .

පතුරු ගැලවුණු මේසයක් උඩ 
මල් අකුරු පොදියක් හලාගෙන 
අකුරු අමුනපු කටු ඔටුන්නක් 
පැය ගණන් අපි පාට කෙරුවා.

ජිවිතේ සුන්දරම දින වල 
පාන්දර ඉර බඩට දැනෙනකොට
කාටත් හොරෙන් අඹ ගහ අද්දර 
උබේ බත් මුල බෙදන් කෑවා 


එකොළහේ පන්තියේ අවසාන හරියේදී 
නිමලෑ ගල් බෝරේට අම්මා අහුවෙද්දී 
හත් දවස් නිදිමරාගෙන උබ 
ලගින් හිටියත් මතකයි මචං.

උත්තරත් නැති ප්‍රශ්න ගොඩ  උඩ
කට්ට කාගෙන ගොඩදාගත්තු 
ඕලෙවල් විභාගෙන් පස්සේ මම 
කාඩ හුළගට හුරු උනා .

ආමි ඇදුමට යන්ට කලියෙන් 
වස්සාන නිමාවට කලින් දවසක 
බිස්ටල් එකට තට්ටු කර කර 
එළිවෙනකන් අපි අළු කැඩුවා.

මහ බරැති දුකඳුළු පොදිගෙන 
පුරා දහතුන් වසක් මෙපිටදී 
පිටකොටුවෙ දුම් කදුළු අතරින් 
යන්තමට මම උබව දැක්කා .

සිසිර සුළගට අත් බදින හැටි 
ඈත තියලම බලන් උන්නා 
දෙකට වෙන්වුණු එකම පැන්සල 
හිත් දෙකක් වෙන් කරල තිබුනා.

වෙඩි උණ්ඩ මස් වැදලි අහුලාන
රතු ලෙයින් පිටකොටුව සෝදන 
යකඩ සහෝදර පිරිස වටකර 
මිදුණු මතකය උණු උනා

යන්තමට ඇස් කෙවෙනි හාරන 
පහන් එලියට අපේ මතකය 
පුර දහතුන් වසක් මෙපිටදී 
අනෝරා වැස්සකට තෙමුනා

2017.05.20
9.16 PM

Comments

Popular posts from this blog